Wednesday, July 19, 2017

” කුල පීඩනය හමුවේ විලාප නගන ලොන්ඩරිය හිමි සළුවඩන මැණිකේ ”

”  කුල පීඩනය හමුවේ විලාප නගන  ලොන්ඩරිය හිමි සළුවඩන මැණිකේ 
(රත්න ශ‍්‍රී විජේසිංහයන්ගේ නිර්මලා ලොන්ඩරිය හිමිගීතය පිළිබඳ කෙරෙන විමසුමකි.)




§  විරෝධාකල්පය හා ගීත මාධ්‍යයම
§  නිර්මලා ගීතයට පසුබිම් වූ පෞද්ගලික අත්දැකීම
§  නිර්මලා ගීතය හා කුල පීඩනය
§  නිර්මලා ගීතය ගීපද රචක රජී වෙල්ගමයන්ගේ ඇසින්
§  භාෂාවේ සුවිශේෂිත්වය , ගීතයෙන් නිරූපිත යථාර්ථය හා ආදර්ශයන්

යන මූලික දිශානතීන් මූලික කොට ගනිමින් නිර්මලා ගීතය දෙස විමසුම් ඇස හෙළිය හැකි ය.

                ලාංකීය සාහිත්‍ය වංශකතාවේ පමණක් නොව පෙර අපර දෙදිග සාහිත්‍යාරම්භයේ පටන් විවිධ සමයන්හිදී ඇති වූ සමාජ විෂමතාවන්ට, සමාජ වාතාවරණයන්ට එදිරිව සමාජය තුළ රෝපණය වූ විරෝධාකල්පයන්ගේ හඬ ප‍්‍රතිිරාව නගන්නට විය. දේශපාලන වශයෙන් , ආර්ථික වශයෙන් ,යුද්ධය, වර්ගවාදය, පේ‍්‍රමයට සිදුවන අසාධාරණය ,නීතිය, රැුකියාව, කුලය, දෑවැද්ද ,සමාජ තත්ත්වය ආදි විවිධ පැතිකඩ ඔස්සේ විරෝධාකල්ප සාහිත්‍යය ගද්‍ය පද්‍ය යන දෙඅංශය ඔස්සේ පෝෂණය විය.ලාංකීය සාහිත්‍යයේ ප‍්‍රථම විරෝධාකල්පය පුපුරා යන්නේ අදින් වසර 1500කටත් අධික කාලයකදී රචනා වූ සීගිරි කුරුටු ගී අතරිනි.


බුදල්මි සියොවැ  ආමි    -           සිහිගිරි  බැලීමි
බැලු බැලු බොහෝජනා - ගී ලීලූයෙන් නොලිමි

දිනක් සීගිරි බැලීමට පැමිණි බුදල් නැමැත්තා බොහෝ ජනයා කැටපත් පවුරේ කුරුටු ගී ලියමින් සිටින අයුරු දැක සැවොම කරන දෙය තමා නොකළ යුතු යැයි සිතා තමා ගීයක් නොලියූ බව කියමින් උක්ත කුරුටු ගීය රචනා කළේය.සීගිරි කුරුටු ගීයෙන් මූලාරම්භය ගෙන ඇරඹි ලාංකීය විරෝධාකල්ප සාහිත්‍ය කලාව පසුකාලීනව අතු ඉති ලියලා වැඩෙන්නට විය.

ගීතය වනාහි මිනිසාගේ ගිනිගත් චිත්ත සන්තානය සහන් සුවයෙන් සතපවාලන දිව ඔසුවකි.එකී අද්විදීතිය ගීත මාධ්‍යය තුළ ස්වකීය නිසර්ග කවීත්වය බහුශ‍්‍රැතභාවයෙන්, ජීවිත පරිඥානයෙන් හා සතතාභ්‍යාසයෙන් වජ‍්‍රයක් සේ තීක්ෂණව ඔප නංවාගත් රත්න ශ‍්‍රී විජේසිංහයන් උත්තම ගණයේ නිර්මාණකරුවෙකි. සමාජ අසාධාරණකම් සමාජ විෂමතාවන් හමුවේ තම පන්හිඳ අවිය කොට ගනිමින් සටන් වැද විරෝධය පෑ මානව හිතවාදි කලාකරුවා ඔහුය.

රත්න ශ‍්‍රී විජේසිංහ යන නාමය අද ගමින් ගම, දොරින් දොර සුපතළ වූවකි. කවිය හා ගීත ප‍්‍රබන්ධය විෂයෙහි ඔහු දක්වා ඇති සමත් බවට විවරණ අනවශ්‍යය.
                                                                                - දයාසේන ගුණසිංහ -

රත්න ශ‍්‍රී විජේසිංහයන් කුලවාදයට, ගෝත‍්‍රවාදයට , වර්ගවාදයට එරෙහිව මතු කරනා සටන්කාමි ස්වරය සාහිත්‍යමය විභූෂණයන්ගෙන් සුපෝෂිත සංයමශීලී ප‍්‍රකාශනයක් බවට පත්කර ගන්නට නිරන්තරයෙන් වගබලා ගනී.ඔහුගේ නිර්මලා ලොන්ඩරිය හිමිගීතය කුලභේදයට එරෙහි ප‍්‍රබල සාහිත්‍යමය කැරැල්ලකි.
රත්න ශ‍්‍රී තම ජීවිතයේ ලද අත්දැකීම් සහ අත්විඳීම්  බොහෝ ගීතවලට ආලෝකයක් කරගත්තේය. 1987 පළමු පළාත් සභා මැතිවරණයේ ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථාන සථානාධිපතිවරයෙකු ලෙස ගාල්ලේ ඇතුළත ගමකට යෑමට ඔහුට සිදුවිය. ඡුන්දය පාවිච්චි කරන්නන්ගේ නම් හඬ නගා කියැවූයේද රත්න ශ‍්‍රී ය.සම්පූර්ණ නම සමඟ වාසගම කියවන විට ඇතැමුන්ගේ මුහුණ ලැජ්ජාවෙන් රතුවන හැටි ඔහු දුටුවේය.එකී සිදුවීම ඔහුගේ සිත බොහෝ කම්පනයට පත් කළේ ය. ලෙන්චිනා ගීතය ලිවීමට මුල් වූයේ එම සිදුවීමයි.නිර්මලා ගීතයට විෂය වූයේ ද එවැනි සිදුවීමකි.

බලන්න එදත් මගේ කිළි කුණු දුන්නේ ඒකිට.දිනක් උදෑසන ගාලූකොටුවේ නිවසට  පැමිණි මාධ්‍ය සගයෙක් රත්න ශ‍්‍රීගේ දෙඅත් අල්ලා හඬා වැටුණේය.පාසල් සමයේ තමන් ආදරය කළ තරුණියක ගැන රත්න ශ‍්‍රීට කීය.ගාල්ල නගරයේ ලොන්ඩරියකට රෙදි සේදීමට දෙන්නට ගිය ඔහුට නැවත ඇය හමුවිය.ඔහු අදද රෙදි සේදීමට දෙන්නේ ඇය අතට වීම මේ පුද්ගලයා කම්පනය පත්කළ සිදුවීම විය. තවද රත්න ශ‍්‍රීගේ ඥාති සහෝදරයෙක් ගමේ රෙදි නැන්දාගේ රුවැති දියණියට පෙම් බැන්දේය. ගුරු සේවයේ නියුතු එම තරුණයාගේ දෙමව්පියෝ මෙයට දැඩි සේ විරුද්ධ වූහ. තම එකම පුතුගේ පිඟාන සහ කෝප්පය පවා වෙන් කර තැබීමට ඔවුහු යුහුසුළු වූහ.අවසානයේදී පේ‍්‍රමය පරදා කුලය ජය ගත්තේය. මේ සිදුවීම්ද රත්න ශ‍්‍රීට නිර්මලා ගීතය ලියන්නට කඳුළු උල්පත පෑදුවේය. මෙම ගීතය රත්න ශ‍්‍රී ලියූ කපුගේ ශූරින් ගයන ඉරබටු තරුවගී එකතුවේ ඇතුළත් වන්නකි.

                                ”නිර්මලා ලොන්ඩරිය හිමි - සළු වඩන මැණිකේ නිර්මලා
                                 මල් හිනා නුඹෙ තැවරිලා  -  කිරි ඉද්ද මල් වැට පීදිලා

යොවුන් පේ‍්‍රමය ඈඳා ගනිමින් කුල පීඩනයේ නිරර්ථක භාවය මූර්තිමත් කරන ගේය පදමාලා කරුවා නිර්මලා අමතන්නේ ලොන්ඩරිය හිමි සළුවඩන මැණිකේ යන නාමයෙනි.ඇය රෙදි හෝදන කුලයේ රජක ස්ත‍්‍රියක් බව ඉන් ධ්වනිත වේ. ධ්වනි ගුණයෙන් පිරි භාෂා ශෛලිය ඔස්සේ කුලය මත බෙදීගිය සමාජ ස්ථරායන පිළිබඳ ව්‍යංගයෙන් කියාපාන්නේ ලොන්ඩරිය හිමි - සළු වඩන මැණිකේයන පදයෙනි.ගීතය සම්බන්ධ සිය විචාරක අදහස් එක් කළ නව පරපුරේ ප‍්‍රවීණ ගීපද රචක රජී වෙල්ගමයන් නිර්මලා ගීතය සම්බන්ධව දැක්වූයේ මෙවන් අදහසකි.

මේ ගීතයෙන් රත්න ශ‍්‍රී කවියා ප‍්‍රබල අතුල් පහරක් වැඩවසම් පහත් කුල ක‍්‍රමයට එල්ල කරයි.ඔහු සිය ගීතයේ ආරම්භයේදීම කියන්නේ නිර්මලා ලොන්ඩරිය හිමි සළු වඩන මැණිකේ නිර්මලා යනුවෙනි.සළුවඩන මැණිකේඋඩරට වංශවත් යැයි සැළකෙන පරම්පරාවකි.ඔවුහු ලොන්ඩරි කර්මාන්තයේ නොයෙදෙති.ඔවුහු  රජක කුලය පහත් කොට සලකති. රත්න ශ‍්‍රී සියලූ මිනිසුන් එක සමාන යන උතුම් සිතුවිල්ලේ සිටිමින් නිර්මලා නම් රජක ස්ත‍්‍රියට සළුවඩන මැණිකේ කියා අමතයි.අපට විමලරත්න කුමාරගම කවියා අලියා වැටුණ වැව ගමේ ඉස්පිරිතාලයේ මිනීකපන හේරත්හාමිට පෑ සෙනෙහස සිහිවේ.සැඩොල් කුලයේ සෝපාකට බුදු හිමියන් කරුණා නෙත පෑ ආකාරය සිහි වේ.රත්න ශ‍්‍රී කවියා ආර්ද්‍ර වූ සිතින් බුදුදහමින් උගත් භාවික ඥානයෙන් මෙම ගීතය ලියා ඇත.

නඡච්චා වසලෝ හෝති - නඡුච්චා හෝති බ‍්‍රාහ්මණෝ
 කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ‍්‍රාහ්මණෝ

සූත‍්‍ර පිටකයේ ඛුද්දක නිකායේ සුත්ත නිපාතයේ උරග වග්ගයේ තුන්වන සූත‍්‍රයේ එන මෙම ගාථාවට අනුව යමෙක් උපතින්ම වසලයෙකු හෝ බ‍්‍රා්හ්මණයකු වන්නේ නැත.යමෙක් වසලයෙකු හෝ බ‍්‍රාහ්මණයකු වන්නේ ඔහුගේ හෝ ඇයගේ ක‍්‍රියාවලින් පමණි.එසේ නම් නිර්මලා රෙදි සෝදන්නියක ලෙස සමාජය ඉදිරියේ හංවඩු ගසන්නේ කුමන පදනමින්ද? කුතය නැමති සාධකය පන්න පන්නා හතර වටින් පහර දෙද්දී සමාජය ඉදිරියේ පේ‍්‍රමය ඉදිරියේ නිර්මලාලා අසරණය. රත්න ශ‍්‍රී සිය ගීතමය හඬ අවදි කරන්නේ  සමාජයේ මෙවන් නිර්මලාලා මුහුණ දෙන කටුක යථාර්ථය විදාරණය කිරීමටය.


මල් හිනා නුඹෙ තැවරිලා - කිරි ඉද්ද මල් වැට පීදිලා


රෙදි සෝදන කුලයේ වුවත් නිර්මලා සුන්දර තරුණියකි. තාරුණ්‍යයත් ආදරයත් අතර ඇත්තේ ගසට පොත්ත මෙන් නොබිඳෙන සබැඳියාවකි.එය නිර්මලා විෂයෙහි ද පොදු වූවකි.ඇගේ සිතේ ආදරය පිළිබඳ හැඟීම් පීදිලා ඇත.කිරි ඉද්ද මල් වැටක් බඳු පරම පිවිතුරු නැවුම් පේ‍්‍රමයෙන් ඇලලී ගිය නියාවෙන් ඇගෙ මුව පුරා මල් හිනා තැවරී ගොස් ය.

පේ‍්‍රමය විවාහය නැමැති හිණිපෙත්ත කරා රැගෙන යාම පේ‍්‍රමවන්තයින්ගේ මූලික ආධ්‍යාශයයි.එකී ගමන්මග අහුරාලමින් විවාහයට වැට බැඳෙන්නේ ඇය රෙදි සෝදන කුලයේ තරුණියක වන බැවිනි.කුලගෙවල් සැරසිලි කොට සළුවඩා පාවඩ එළා කුල සිරිතට මංගල ගමනේ දෑඟිලි පටලවා යන්නට මග බලන නිර්මලාට සිදුවන්නේ තම පෙම්වතාගේ ලොවින් පිටමං වන්නටය.

නිර්මලා නිර්මල නැතැයි මා - ඔබෙ ලොවින් පිටමං කළා

කුලය හමුවේ පේ‍්‍රමයෙන් පරාද වූ නිර්මලාගේ විලාපය පුපුරා යන්නේ මෙතැනදීය.නිර්මලා නිර්මල නැත්තේ ඇයි? රචකයා සමාජය හමුවේ තබන පැනය මෙයයි. එක පාටැති එක රුධිරය වේ නම් අප කය තුළ දුවනා, නිර්මලා නිර්මල නැතැයි කියනුයේ කවර සාධක මත පිහිටාද ඔහු සමාජයෙන් ප‍්‍රශ්න කරයි.
                               
                                 ” අඩු කුලේ කියලා අසරණයා - මැඩලන්නෙ මෙ ලෝකේ වසලයා
                                  වංශේ කුල භේදෙනි ලොවේ - නොම වේ බමුණා හෝ වසලයා

                                 එක ලේ මස් නහරින්  බැඳුණු තදේ - මුළු ජීවිත කාලය විඳින වදේ
                                 අවසානයේ මරු සමඟ ඇදේ - මෙය නොදැන සිටින්නේ වසලයා

සැබැවින්ම යථාර්ථය මෙය නොවේ ද? රෙදි සෝදන කුලයේ උපන්නාට සාපලත් නිර්මලා පංතියේ මිතුරන් ඉදිරියේ ද සරදමට ලක්වන්නේ ඇගේ හිතට රිදුම් තැවුම් වේදනා එක් කරමිනි. පසුකලෙක දින පොත පෙරළන ඇයට ඇගේ උරුමය එතුළින් හමුවෙයි. ඒ අනෙකක් නොව කඳුළු බිඳු පමණි.සිහින කෙත ඈ නෙළූ අස්වැන්න කඳුළ පමණි.එය කියනු වස් කවියා භාවිත සරල කාව්‍යාත්මක බස් වහර ළගන්නා සුළුය.අල්පෝක්තිය මෙන්ම අතිශයෝක්තිය නිර්මාණකාරකයාගේ හැඟීම් ජනනයට උපස්ථම්භක වන ආකාරයට මෙය කදිම නිදසුනකි.

රත්න ශ‍්‍රී තරම් කුල පීඩනය පිළිබඳ කතාකළ සිංහල කවියෙක් නැති තරම්ය.ඔස්ටින් මුණසිංහයන්ගේ සුසත්සරයෙන් හා ඉන්දීවරි අබේවර්ධන ගායිකාවගේ සුගායනයෙන් රසිකයා හමුවට එන ,
                              
                                ”තන තම්දෙනා තන තානෙනා - සළු සෝදනා මම ලෙංචිනා
                                 ඔච්චම් කරන්නට නම් එපා මට -  සළුවඩන මැණිකේ කියා

යන මෙම ගීතය තුළින් ද කුලය නිසා ඉකිගසන රජක කුලයේ තරුණියකගේ රිදුම් දෙන හදවතේ අසරණ ආයාචනය විදාරණය කරයි.රෙදි සෝදන පංතිය කෙරෙහි දයාවෙන් කවියා බිිහිකළ පළමු කාව්‍ය සංග‍්‍රහය වන ශුද්ධාත්ම” 1988 දී රවනාවූ සුබ උදෑසනක්කෘතිය තළින් පාඨක නෙත ට සමීප වේ.රෙදි සෝදන කුලයේ කටුක යථාර්ථය මානව දයාවෙන් සංස්පර්ශය කළ එම කාව්‍ය පසු කලෙක ගීතයක් ලෙසින් රෝහණ වීරසිංහයන්ගේ තනු හා සුසත්සරය මුසුව සුනිල් එදිරිසිහයන්ගේ හඬින් ගුවනට මුසු වේ.
                               
    
        ”ලෙංචිනා මගෙ නංගියේ ඇයි - ගංතෙරට වී ගොම්මනේ
         පෙන්තරේ ළඟ පැන් තොටේ - ගම්මානයේ පව් සෝදනා


රචකයා උතුරා යන මානව දයාවෙන් රෙදි සෝදන පංතියේ ලෙන්චිනාට මගෙ නංගියේ ලෙස අමතයි.  ඔහු ලෙන්චිනාට නැගණියක ලෙස අමතන්නේ කුල භේදයට එරෙහිව පංති සමානාත්මතාවය ගොඩ නැගීමේ ව්‍යායාමයක් ලෙසිනි.

නිර්මලා පහත් කුලයක වීම නිසා ම ඇයගේ පේ‍්‍රමයට නෑසියෝ ඉඳුරා විරුද්ධ වෙති.ඔවුන්ගේ ආදර ලෝකය ගිනි ගෙන දැවෙන්නේ එදිනය.බොහෝ දෙනාගේ රෙදි සෝදන නිර්මලාගේ සළුපිළි කිසිදා වේළෙන්නේ නැත.පේ‍්‍රමයේ වියෝව හමුවේ හඬා වැටෙන නිර්මලාගේ ඉකිගැස්ම දැනුදු අප සවන් වැකේ.  ” මා හෙලූ කඳුළින් තෙමූ සළු පිළි - තවම නෑ වේළිලා..

කඳුළ ඇගේ සදාතනික උරුමය බව ධ්වනි ගුණයෙන් ආඪ්‍ය භාෂාවක් ඔස්සේ ගී පද රචකයා පෙන්වාලයි.
                               
                                  ” දොවාලන්නට බැරි පිළී ගඳ -  කහට  කුලමල තවරලා
                                 මගෙ ඇඳුම් ඔබෙ අතට දෙන එක - දරන්නට බෑ නිර්මලා


කුල පීඩනය පිලිකුලෙන් බැහැර කරන කවියා මානව දයාවෙන් උපන් පේ‍්‍රමයෙන් යුතුව නිර්මලා සහ ඇගේ පේ‍්‍රමවන්තයාගේ හදවත් වෙත සහෘදයා රැගෙන යයි. දැනුදු තම ඇඳුම් සේදීමට තම පේ‍්‍රමවන්තියට දෙන්නට වීම පිළිබඳ ඔහු පශ්චාත්තාපයට පත්වේ.ඒ සැබෑ ආලය නිසාවෙනි.නමුත් දොවාලන්නට බැරි පිළි ගඳ ගහන කුලමල කහට කෙදිනක නම් මකා දමන්නද?එදා හිත පුරා පැවති නොකිලිටි ආදරය අද ඇයට අහිමිය.නමුදු ඇයට හිමි නැති ඒ හුරු සුවඳ සෝදන්නට දී ඇති තම පේ‍්‍රමවන්තයාගේ ඇඳුම් අතරින් දැනුදු ඇයට හමුවේ.සුවඳ ආදරයේ සළකුණකි. යනවා නම් ඔබෙ සිරුරෙ සුවඳ ඔය ඇඳුම්වල සුවඳ තියලා යන්න...යනුවෙන් මළගිය ඇත්තෝහි නොරිකො තම ආදරණීය දෙවෙන්දොරා සංගෙන් ඉල්ලා සිටියේ ඒ නිසා නොවේ ද? ගීතය අවසන් වන්නේ ඒ සුවඳ අතර රසිකයාද රඳවමිනි.


බි‍්‍රතාන්‍ය පාලකයන් අප සමාජය මත පරත්වාරෝපණය කළ කුලවාදය තවමත් අපට අත්හැරගත නොහැකි වූ ඛේදවාචකයක එක් ඉරණමකි. නිර්මලා යනු රෙදි අපුල්ලන්නියකි. ඇයට කුලවත් ජනයාට පෙම් බැඳීමට ජන සමාජයේ තහංචියක් පවතී.එවැනි ඉරණමකට මුහුණ දුන් පෙම්වතුන් යුවළක් නඟන ආත්ම වේදනාවක මැසිවිල්ලක්  නිර්මලා ගීතයෙන් කියවේ. මේ හරහා ජරා ජටිල කුලවාදයන් තව දුරටත් අප කරපින්නා ගතයුතු දැයි යන උදාර සමාජ ශෝධන මතවාදය රෝපණය වීමට පටන් ගනී.එමගින් නිස්සාරවත් කුල ගැටුම් පිළිකුලෙන් යුතුව බැහැර කිරීමටත්, මානව පේ‍්‍රමයේ තිබෙන සොඳුරු පළ රිසි සේ අත්විඳීමටත් හැකි ජීවන දහමක් ගොඩ නැගේ. එහෙයින් නිර්මලා බඳු ගීත සේවය කරනුයේ සමාජීය යහපත් ආකල්ප මතු මතුවටත්  ප‍්‍රචලිත කිරීමේ අරමුණ ඇතිවය.


 නිර්මලා නම් වූ නිර්මල පෙම්වතියගේ ශෝකාලාපය ගැයුමට නිරංජලා සරෝජිනි ගායිකාවත්  පෙම්වතා නියෝජනය කරනු වස් ගීතයට සුසත්සරයෙන් හා සුගායනයෙන් ගුණදාස කපුගේ මහතා එක්වීමත් ගීතයේ රසයට ආලෝකයකි.ධ්වනි ගුණයෙන් ආඪ්‍ය කාව්‍යාත්මක භාෂා භාවිතයක තම අත්දැකීම බහාලන රත්න ශ‍්‍රී විජේසිංහයන් ගීතය රස විඳින රසිකයා වඩ වඩාත් ගීතය වෙත ආශක්ත කරවාලයි. රත්න ශ‍්‍රී විජේසිංහයන්ගේ නිර්මාණවල මානව දයාව උතුරා යයි. ඔහු කාලීන සමාජ ප‍්‍රශ්න පිළිබඳව පීඩිතයන් කෙරෙහි වන දයාර්ද්‍ර වූ හදවතින් යුතුව සිය නිර්මාණ තුළින් හඬ අවදි කළේ ය.බමුණා වුණත් දුදනකු නම් බිම හොවනු - සැඩොලා වුණත් සුදනකු නම් පුටුව දෙනුමහාචාර්ය සුනිල් ආරියරත්නයන් උක්ත ගීපද හරහා පෙන්වා දෙන මේ යථාර්ථය සමාජය තුළ ක‍්‍රියාත්මක කළ හැකි නම් සමාජය නැමැති ශරීරයේ හටගත් කුල පීඩනය වැනි පිළිලයන් මුලිනුපුටා දමා සමාජය සුවපත් කළ හැකි ය.

නිර්මලා ලොන්ඩරිය හිමිගීතය


නිර්මලා ලොන්ඩරිය හිමි
සළු වඩන මැණිකේ නිර්මලා
මල් හිනා නුඹෙ තැවරිලා
කිරි ඉද්ද මල්වැට පීදිලා

කුල ගෙවල් සැරසිලි කළත් අපි
සළු වඩා පාවඩ එළා
නිර්මලා නිර්මල නැතැයි මා
ඔබෙ ලොවින් පිට මං කළා


පන්තියේ මිතුරන් එදා කළ
විහිළුවෙන් හිත රිදුණු දා
මා හෙලූ කඳුලක් මගේ
දින පොතක තිබිලා හමුවුණා


යුද වැදී නෑ සියන් බළ මුළු
අපේ ලොව ගිනි වැදුණුදා
මා හෙලූ කඳුළින් තෙමූ සළු පිළි
තවම නෑ වේළිලා


එදා සෙසෙහස නොකිලිටිව  ඔබෙ
හිත පුරා පවතින නිසා
හිමි  නැතත් මට හුරු සුවඳ ඒ      
ඇඳුම් අතරේ තියෙනවා ”       


පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
ගායනය - ගුණදාස කපුගේ සහ නිරංජලා සරෝජිනී

සුන්දර සමනල වැව සංචාරක කලාපය

සමනල වැව සංචාරක  කලාපය


ශ්‍රී ලංකාව පරිබාහිර ලෝකයා විසින් දැන හැඳින සිටියේ ක්‍රිස්තු පූර්ව යුගයටත් පෙර සිට බවට සාධක හමුවේ. ඒ අනුව ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ සොඳුරු නවාතැන් පොලක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය  ප්‍රවර්ධනය කිරීම සහා පළාත් නවය අනුව සංචාරක ගමනාන්ත හා ඒ හා බැඳුණු සියලු අංශයන් සංවර්ධනය කිරීමට රජය ක්‍රියා කරන ආකාරය දැක ගත හැකි ය.


 ශ්‍රී ලාංකේය සංචාරක ව්‍යාපාරය තුළ සබරගමු පළාතට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි .ලෝක පූජිත උරුමයක් වූ ශ්‍රී පාදස්ථානය, ලංකාවේ විශාලතම වනාන්තරය වන සිංහරාජ වනාන්තරය පිහිටා තිබෙන්නේ මෙම සබරගමු පළාත තුළ වීම විශේෂත්වයකි. 

සංචරණයට සබරගමුව - VISIT SABARAGAMUWA යන තේමා පාඨය ඔස්සේ මූලික වශයෙන් පළාතේ සංචාරක ව්‍යාපාරය ප්‍රචලිත කිරීමට බලධාරීන් ක්‍රියාකරනු ලැබේ. රත්නපුර දිස්ත්‍රික්කය හා කෑගල්ල දිස්ත්‍රික්කය ඇතුළත්ව ප්‍රධාන සංචාරක කලාප 07 කට බෙදා සබරගමු පළාත් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ඒ පිළිබ අදාළ පාර්ශවයන් ක්‍රියා කිරීම ප්‍රශංසනීය වේ. එම සංචාරක කලාප මේවා ය.



 කෑගල්ල දිස්ත්‍රික්කය -   දැදිගම සංචාරක කලාපය
                                     සීතාවක සංචාරක කලාපය
                                     මා ඔය සංචාරක කලාපය


රත්නපුර දිස්ත්‍රික්කය - මිණිපුර සංචාරක කලාපය
                                   සිංහරාජ සංචාරක කලාපය
                                  උඩවලව සංචාරකකලාපය     
                                 සමනල වැව සංචාරක කලාපය



සමනල වැව සංචාරක කලාපයට බලංගොඩ , වැලිගෙපොල සහ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් අයත් වෙයි.රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති කලාප අතුරෙන් ඉතාමත් ඉහළ ජෛවවිවිධත්වයක් ඇති කලාපයක් ලෙස මෙම මෙම කලාපය හඳුනාගනු ලැබේ.මෙම සංචාරක කලාපය එක් පසෙකින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ද  අනෙක් පසින් බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කයන්ගෙන්ද මායිම් වේ.


සමනළ වැව ජලාශය මෙම කලාපයේ ප්‍රධානතම ස්වභාවික ආකර්ෂණයකි.බදුල්ල කොළඹ  ප්‍රධාන මහා මාර්ගය මෙම කලාපය හරහා වැටී තිබීම නිසා ඒ ආශ්‍රිත ගමනානතයන් සහා ඇදෙන දෙස් විදෙස් සංචාරකයින් මෙම කලාපයට ආකර්ෂණය කර ගැනීමේ හැකියාව පවතී.මහවලතැන්න සහ බලංගොඩ සානුව මෙම කලාපයේ පිහිටා ඇත.





ඳුකර තෙත් වනාන්තර ,වියළි කලාපීය වනාන්තර ආදී ස්වභාවික විවිධතා මෙම කලාපයේ පවතී.මෙම කලාපයේ සිට නන්පෙරියල් වතුයාය හරහා හොර්ටන් තැන්නට සහ ලෝකාන්තයට පහසුවෙන් ළඟාවිය හැකි ය.උඩවලව හගිරිය පිවිසුම් මාර්ගය, බෙලිහුල්ඔය සිට හෝර්ටන්තැන්නට ඉදිවන මාර්ගය, සීලගම ප්‍රජා සංචාරක ගම්මානය ආදී ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් මෙම කලාපයේ ආරම්භ කර තිබේ.


ඒ අනුව සංචාරක කලාපයක් ලෙස සමනලවැව සංචාරක කලාපය සංචර්ධනය කිරීමට ඉහළ විභවතාවයන් හා ආකර්ෂණයන් පවතින බව පැහැදිලිය.ඒ අනුව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයෙහිලා සමනලවැව සංචාරක කලාපය සංවර්ධනය වැදගත් වේ.
                                  

සංචරණයට සීලෝගම ප්‍රජා සංචාරක ගම්මානය( ගැමි දිවියේ අව්‍යාජ සුන්දරත්වය සොයා)

සීලෝගම ප‍්‍රජා සංචාරක ගම්මානය


 සීලෝගම ප‍්‍රජා සංචාරක ගම්මානය බෙලිහුල්ඔය සංචාරක පාරාදීසය ආශ‍්‍රිතව පිහිටා ඇති ස්වභාව සෞන්දර්යයෙන් අනූන සංචාරකයින්ගේ සිත් ඇද ගන්නා සුන්දර ගම්මානයකි. මෙම ගම්මානයේ නිවාස ආශ‍්‍රිතව සංචාරකයන්ට නවාතැන් පහසුකම් ලබාදීමේ වැඩසටහනක් සබරගමුව පළාත් සංචාරක අමාත්‍යංශය විසින් ක‍්‍රියාත්මක කර ඇත. විශේෂයෙන් මෙම ගම තුළ සාම්ප‍්‍රදායිකව කරනු ලබන කෘශිකාර්මික කටයුතුවලින් අප අතුරෙන් දුරස් වී යන සාම්ප‍්‍රදායික කෘශි කටයුතු සහ ඒ ආශ‍්‍රිතව ගොඩ නැගී ඇති සිරිත් විරිත් ,භාෂාව ආදී සංස්කෘතිකාංග ආරක්ෂා කර ගැනීමට හැකි වී ඇත. 



එමෙන්ම පැරණි ගමක් තුළ දැකිය හැකි බොහෝ දෑ වර්තමානයේදී පවා මෙම ගම තුළ දැකිය හැකි ය. විශේෂයෙන්ම හෙල් මළු ක‍්‍රමයට කරනු ලබන වී වගා සහිත කුඹුරු බිම් දුටුවන්ගේ නෙත් සිත් ඇද බැඳ ගනී. මෙම ගම මැදින් ගලා යන කුඩා දිය කදුරු සහ කඩා හැලෙන ලොකු කුඩා දිය ඇළි ගම තුළ ඇති ස්වභාව සෞන්දර්යය තීව‍්‍ර කරවයි. 



ගමේ එක් පසෙකින් සුන්දර හාගල සහ පරවියන්ගල ප‍්‍රමුඛ කඳු පංතිය සහ අනෙකුත් පසෙන් පිහිටා ඇති සමනලවැව ජලාශය ගම තුළ කරනු ලබන සංචාරක ක‍්‍රියාකාරකම් සඳහා කදිම තෝතැන්නක් වී තිබේ.සුන්දර හාගල සහ පරවියන්ගල අතුරෙන් නන්පෙරියල් කලාපය සහ  ලෝකාන්තයේ පහළ කොටස ආශි‍්‍රත දර්ශනීය පරිසරය ගම තුළ සිට සංචාරකයන්හට නැරඹිය හැකි ය.



අන්තර් මාධ්‍ය කලාපික දේශගුණික කලාපය තුළ මෙම ගම්මානය පිහිටා ඇති බැවින් ඉතාමත් ඉහළ ජෛව විවිධත්වයක් ගම තුළ දැකිය හැකිය.විශේෂයෙන්ම විවිධ වූ ශාක විශේෂ සහ සත්ත්ව විශේෂ මෙම ගම තුළ දැකගත හැකිය.

මෙම ගම්මානයට පැමිණෙන සංචාරකයන්ට කුරුල්ලන් නැරඹීම , කඳු නැගීම, බයිසිකල් පැදීම,ඔරු පැදීම, මාලූ බෑම ආදී විවිධ සංචාරක ක‍්‍රියාකාරකම්වල නිරත විය හැකි ය.




එමෙන්ම ස්වභාවික පරිසර පද්ධති පිළිබඳ ගවේෂණය කරන්නන්ට සහ ලාංකීය ග‍්‍රාමීය කෘශිකාර්මික ජීවන රටාව පිළිබඳ අධ්‍යයනය කරන්නන්ට මෙම ගම මහත් පිටිවහලක් සපයයි.ඉපැරණි ගැමි දිවියේ අව්‍යාජත්වය,අත්දැකීම් සොයා ප්‍රජා මූලික සංචරණයේ අසිරිය අත්විදින්නට සීලෝගම ප්‍රජා සංචාරක ගම්මානය ඉතා වැදගත් වේ.

මූලාශ්‍ර - සුන්දර සබරගමුව කෘතියෙනි

සංචරණයට පහන්තුඩාව


සංචරණයට පහන්තුඩාව

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ සමනල වැව සංචාරක කලාපයේ බෙලිහුල්ඔය පිහිටා ඇති පහන් තුඩාව සංචරණයට සොඳුරු තොතැන්නකි.මෙහි ඇති ස්වභාව සෞන්දර්යාත්මක වටිනාකම නිසාම දෙස් විදෙස් සංචාරකයින් බොහොමයක් මෙම ස්ථානය කරා ආකර්ෂණය වෙයි.සංචාරණ ක්‍රියාවලිය තුළ ස්වභාවික හා පාරිසරික සංචරණයට ලැදි සෑම අයෙක් අනිවාර්යයයෙන්ම නැරඹිය යුතු සුන්දර ස්ථානයක් ලෙස මෙම පහන්තුඩාව හැඳින්විය හැකි ය.



මෙම පහන්තුඩාව ලංකාවේ දියඇලි අතුරෙන් තවත් එක් සුවිශේෂි නිර්මාණයකි.ඊට හේතුව එහි පිහිටීම හා ස්වභාවයයි.මෙම දිය ඇල්ලට පහන්තුඩාව යන නම ලැබෙන්නේද එහි ස්වභාවික පිහිටීම නිසාය .මෙම දියඇල්ලේ වතුර වැටෙන ජල තටාකය පහනක හැඩයෙන් යුක්තය.එම ජල තටාකයට දිය ඇල්ලෙන් වතුර වැටෙන්නේ පහනක තිරයක විලාසයෙනි.එනිසා මෙය පහන්තුඩාව ඇල්ල යනුවෙන් ව්‍යවහාර වී ඇත. 



මෙම දිය ඇල්ල ජෛව විවිධත්වයෙන් අනූන සුන්දර පරිසර පද්ධතියක පිහිටා තිබීම තවත් වැදගත් අංගයකි.වටිනා ශාක විශේෂ ,සත්ත්ව විශේෂ මෙම පරිසර පද්ධතිය තුළ දැක ගත හැකිය.මෙම දිය ඇල්ල සම්බන්ධව විවිධ ජනප්‍රවාද පවතී. එක්තරා මිනිසෙකු ඇති වූ පවුල් ආරවුලක් නිසා මෙම ස්ථානයේ ඇති ගලෙහි යමක් කොටා බඩෙහි ගලක් බැගෙන මෙම ස්ථානයට පනින ලද බව කියනු ලැබේ.මෙම ස්ථානයේ දිය නෑම තරමක් ත්‍රාසජනක මෙන්ම අවධානම් සහගතය.අධික ගැඹුරක් පවතින බවත් එහි පතුළ සොයා ගැනීමට පවා නොහැකි බව ගම්මුන් පවසති. අධික වර්ෂාවන් සහිත අවස්ථාවලදී දිය ඇල්ලට ඉහළ ප්‍ර‍දේශයන්හි ජල මට්ටම වැඩි වන විට විනාඩි 10ත් 15 ත් අතර කාලය තුල මෙම ස්ථානයේ ජල මට්ටම එකවරම වැඩි වේ.එබැවින් මෙහි දිය නෑම අවධානම් සහගතය.



ස්වභාව දහමේ මනහර නිමවුමකැයි හඳුනාගත හැකි පහන්තුඩාව ඇල්ල මතුවටත් ආරක්ෂා කර ගැනීම දෙස් විදෙස් සියලු සංචාරකයින්ගේ වගකීමකි. සිසිලස ,පහස මෙන්ම මෙම පරිසරයට ආවේණික සත්ව විශේෂ ,ශාක විශේෂ ,මෙම ස්ථානයට නුදුරින් ඇති සමනළ වැව සංචාරක කලාපයේ සියලු සොඳුරු දසුන් දකින්නට විඳින්නට මෙම ස්ථානය සංචරණය කිරීමතුළින් හැකියාව පවතී.ශ්‍රී ලංකාවේ    නුදුටු සුන්දරත්වය සියැසින් දැක ගන්නට නුඹත් එන්න  සංචරණයට පහන්තුඩාව.

Sunday, July 9, 2017

උඩවලවේ ඇත් අතුරු සෙවණ


උඩවලවේ ඇත් අතුරු සෙවණ



වර්ෂ 1995 අගභාගය වනවිට මෙරට අලි පැටව් සංරක්ෂණයට කිසුදු විධිමත් සංරක්ෂණ ක්‍රමයක් නොවීය.මෙම අඩුපාඩුව පිරිමසා ගැනීම සහා හිටපු වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ දොස්තර නන්දන අතපත්තු මහතාගේ අදහසක් අනුව උඩවලවේ ප්‍රථම වරට ඇත් අතුරු සෙවණක් ආරම්භ කරන ලදී.මෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ තුවාලවී හෝ අනාථවී හමුවන අලි පැටවුන් සුවපත් කර පුනරුත්ථාපනය කොට නැවත වනයට මුදා හැරීමයි.



"කොමලී " නම් වන අලි පැටවාගෙන් ආරම්භ වූ උඩවලවේ ඇත් අතුරු සෙවණට පසු කාලයේ අලි පැටවුන් 60ක් පමණ සංඛ්‍යාවක් රටේ විවිධ ස්ථානවලින් ලැබී ඇත.ඇත් අතුරු සෙවණ මගින් සිදු කරන කාර්යය සහා රජයෙන් විශාල පිරිවැයක් දරනු ලැබේ.එක් අලි පැටවකු හා මසකට රුපියල් දස දහසක් වැයවන බව වනජීවී දෙපාර්තමේන්තුව ගණන් බලා ඇත.ආරම්භයේ පටන් මේ දක්වා ඇත්අතුරු සෙවණේ සිටි අලි පැටවුන් කණ්ඩායම් 03ක් උඩවලව ජාතික වනෝද්‍යානයට මුදා හැර තිබේ.


ඉන් පළමු කණ්ඩායම මුදා හරින ලද්දේ 1998 මාර්තු 21වැනිදාය.එම කණ්ඩායමට ගාමිණී පණ්ඩුක, අනුරාධ ,අනූෂා නැමති අලි පැටවුන් සිවු දෙනෙකු  ඇතුළත් විය.අලි පැටවුන් පස්දෙනෙකුගෙන් සමන්විත දෙවන කණ්ඩායම වනයට මුදා හරින ලද්දේ 2000වසරේ ජූලි පළමුවෙනිදාය.කොමලි ,ඉසුරු,සමාලි මත්තලී සහ එමලින් එම කණ්ඩායමේ  සාමාජිකයින් වූහ.තෙවන කණ්ඩායමට අයත් අලිපැටවුන් 08දෙනෙකු 2002 ජනවාරි මස 18 වන දින වනයට මුදා හරින ලදී.මිහිරි, හේමා,ත්‍රිමා,පදවි,මදාරා, මහේෂ්,තමාලි සහ සේනාධි එම අට දෙනාය.

ඇත් අතුරු සෙවණ ආරම්භ වූයේ බොහෝ දුෂ්කරතා මධ්‍යයේය.සම්පත් හිගකම හා ඇතැම් විද්වතුන් මේ සහා අකමැති වීම ප්‍රධාන ගැටලුවක් විය.


කෙසේ නමුත් මෙවැන්නක් ඉදිකිරීම අලි සම්පත රැක ගැනීමෙහිලා මහෝපකාරී වී තිබේ.වත්මනේ මෙය සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවටද පත්ව තිබේ.

   " සතුන්ට දක්වන ආදරය හා කරුණාව ඇසුරෙන් 
රටක වෙසෙන මිනිසුන්ගේ 
උදාරත්වය සහ සදාචාරාත්මකභාවය 
විනිශ්චය කළ හැකි ය." 
                 (මහත්මා ගාන්ධි තුමා)


 "    සතුන්ගෙන් තොර ලොවක මිනිසුන්ට ජීවත්වියහැකිද? 
වනසතුන් සියලු දෙනා වැනසී ගියහොත් 
ජීවිතය දැඩි හුදෙකලා බැවින් මිනිසාද මිය යනු ඇත.
මක් නිසාද යත් සතුනට සිදුවන දේ නොබෝ කලකින්ම මිනිසාටත් සිදුවනහෙයිනි.ලෝකයේ පවත්නා සියලු දේ අතර ඇත්තේ එකිනෙකට බැඳුණු ඥාතීත්වයකි.  " 
(සියටැල් - (1854)

ස්ත්‍රියට එරෙහි ප්‍රචණ්ඩත්වය

ස්ත්‍රියට එරෙහි ප්‍රචණ්ඩත්වය



ප්‍රචණ්ඩත්වය යන්න අද අපේ මනසට ඉතාම සමීප වූවක් වී ඇත.මෑත කාලය තුළ අප සමාජයේ ප්‍රචණ්ඩත්වය වැඩි වීමට සමාජීය හා ආර්ථික කරුණු හේතු වී ඇත.මින් වඩාත් පීඩාවට පත්වන්නේ ස්ත්‍රියයි.මේනිසා ස්ත්‍රීන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මුලු සමාජ අර්බුධයේම කොටසකි.මේ වෙනුවෙන් ස්ත්‍රිය ගෙවන වන්දිය කොතෙක්ද යන්න පිළිබ‍ අපට දිනපතා පුවත්පත්වල වාර්තාවන සිද්ධීන්ගෙන් යම් තරමකට හෝ වටහා ගැනීමට හැකි වනු ඇත.


වත්මන් සමාජ ආකල්පවලට අනුව ස්ත්‍රිය හො බිරික් යහපත් මවක් හා කාර්යශූර ගෘහණියක් වශයෙන් ඇගේ යුතුකම් හා වගකීම් කොටස ඉටුකළ යුතුය.ග්‍රාමීය ස්ත්‍රිය ගෙදර දොරේ වැඩ කටයුතු , ස්වාමියාගේ හා දරුවන්ගේ ඕනෑ එපාකම් ද සමාජීය යුතුකම්ද හේනේ කුඹුරේ වැඩ කටයුතුවලදීද සහය විය යුතු ය.නාගරික සමාජයේ ඇති විවිධ පන්ති ස්ථර තුළ , විශේෂයෙන්  පැල්පත්වල හා මුඩුක්කුවල දිවිගෙවන ස්ත්‍රිය පවුල්බර කරට ගත් ආර්ථික සටනක යෙදෙන්නියක වේ.එම පරිසරය තුළම වෙසෙන මධ්‍යම පාන්තික  ස්ත්‍රීන් තම ගෙදර දොරේ වැඩ කටයුතුවලට අමතරව තම සමාජීය තත්ත්වය රැක ගැනීම සහා ආර්ථික වශයෙන් ස්ථීර පදනමක් ද ගොඩනගා ගත යුතු ය.


නිවස ඇයට ආරක්ෂිත ස්ථානයක් යැයි සැළකුවද  අද ස්ත්‍රියට එරෙහි ව සිදුවන බොහෝමයක්  ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වන්නේ නිවස තුළිනි.ස්ත්‍රියට එරෙහිව සිදුවන මෙම සැහැසිකම්වලදී සමාජ අපහාසය, පීඩනයට පත් ස්ත්‍රිය වෙතට ම එල්ල කිරීමට මුලු සමාජයම පුරුදුව සිටී.එනිසා ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පොලිස් වාර්තාවලට ඇතුළත් වන්නේ  20% ක තරම් සුළු ප්‍රමාණයකි.මාධ්‍ය නිරීක්ෂණය යටතේ ස්ත්‍රීන් එරෙහි පහත ප්‍රචණ්ඩ ක්‍රියා හ‍ඳුනාගත හැකිය.

1.      ස්ත්‍රී ඝාතනය

·         ද්වේශ සහගත මිනී මැරුම්
·         අභිරහස් ලෙස මරා දැමීම්
·         සැක සහිත ස්ත්‍රී මරණ  
·         දූෂණය කර හා දූෂණයට තැත් කර මරා දැමීම

2.      සිය දිවි නසා ගැනීම්

3.      ස්ත්‍රී දූෂණය

·         සේවා ස්ථානය තුළ
·         අස්වාභාවික ලිංගික අතවර
·         මගතොටේ වන අතවර
 

4      ශාරීරික වධ හිංසා
·         පහර දීම්,තර්ජනය කිරීම්,බිය වැද්දීම්,නින්දා අපහාස

5     නිල් චිත්‍රපට ස‍‍ඳහා කාන්තාව යොදා ගැනීම

6  කම්කරු හා වෘත්තීය අයිතින් අහිමි කිරීම

ශ්‍රම සූරා කෑම ඇතුළු සෑම ආකාරයකම වෙනස්කම්


කාන්තාවට අවශ්‍යවන්නේ සමාජයේ වඩා උසස් ස්ථානයක් නොවේ. කාන්තාවට හා පුරුෂයාට සමතැන සමාජයේ හිමිවීම තුළින් මෙම ප්‍රචණ්ඩ ක්‍රියා යම්තාක් දුරකට මගහරවා ගැනීමට හැකියාව ලැබේ.එසේ නොවන තාක්කල් ස්ත්‍රිය සමාජයේ පීඩිත පාංතිකයාගේ භූමිකාව තවදුරටත් නිරූපණය කරන බව අවිවාදයෙන් පිළිගත යුතුය.


ගබ්සාව

 ගබ්සාව  සමාජ ගැටලුවක්ද?   ලෝකයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමු වු ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හදුන්වා දිය හැකියි. බොහෝ රට...