Wednesday, July 19, 2017

” කුල පීඩනය හමුවේ විලාප නගන ලොන්ඩරිය හිමි සළුවඩන මැණිකේ ”

”  කුල පීඩනය හමුවේ විලාප නගන  ලොන්ඩරිය හිමි සළුවඩන මැණිකේ 
(රත්න ශ‍්‍රී විජේසිංහයන්ගේ නිර්මලා ලොන්ඩරිය හිමිගීතය පිළිබඳ කෙරෙන විමසුමකි.)




§  විරෝධාකල්පය හා ගීත මාධ්‍යයම
§  නිර්මලා ගීතයට පසුබිම් වූ පෞද්ගලික අත්දැකීම
§  නිර්මලා ගීතය හා කුල පීඩනය
§  නිර්මලා ගීතය ගීපද රචක රජී වෙල්ගමයන්ගේ ඇසින්
§  භාෂාවේ සුවිශේෂිත්වය , ගීතයෙන් නිරූපිත යථාර්ථය හා ආදර්ශයන්

යන මූලික දිශානතීන් මූලික කොට ගනිමින් නිර්මලා ගීතය දෙස විමසුම් ඇස හෙළිය හැකි ය.

                ලාංකීය සාහිත්‍ය වංශකතාවේ පමණක් නොව පෙර අපර දෙදිග සාහිත්‍යාරම්භයේ පටන් විවිධ සමයන්හිදී ඇති වූ සමාජ විෂමතාවන්ට, සමාජ වාතාවරණයන්ට එදිරිව සමාජය තුළ රෝපණය වූ විරෝධාකල්පයන්ගේ හඬ ප‍්‍රතිිරාව නගන්නට විය. දේශපාලන වශයෙන් , ආර්ථික වශයෙන් ,යුද්ධය, වර්ගවාදය, පේ‍්‍රමයට සිදුවන අසාධාරණය ,නීතිය, රැුකියාව, කුලය, දෑවැද්ද ,සමාජ තත්ත්වය ආදි විවිධ පැතිකඩ ඔස්සේ විරෝධාකල්ප සාහිත්‍යය ගද්‍ය පද්‍ය යන දෙඅංශය ඔස්සේ පෝෂණය විය.ලාංකීය සාහිත්‍යයේ ප‍්‍රථම විරෝධාකල්පය පුපුරා යන්නේ අදින් වසර 1500කටත් අධික කාලයකදී රචනා වූ සීගිරි කුරුටු ගී අතරිනි.


බුදල්මි සියොවැ  ආමි    -           සිහිගිරි  බැලීමි
බැලු බැලු බොහෝජනා - ගී ලීලූයෙන් නොලිමි

දිනක් සීගිරි බැලීමට පැමිණි බුදල් නැමැත්තා බොහෝ ජනයා කැටපත් පවුරේ කුරුටු ගී ලියමින් සිටින අයුරු දැක සැවොම කරන දෙය තමා නොකළ යුතු යැයි සිතා තමා ගීයක් නොලියූ බව කියමින් උක්ත කුරුටු ගීය රචනා කළේය.සීගිරි කුරුටු ගීයෙන් මූලාරම්භය ගෙන ඇරඹි ලාංකීය විරෝධාකල්ප සාහිත්‍ය කලාව පසුකාලීනව අතු ඉති ලියලා වැඩෙන්නට විය.

ගීතය වනාහි මිනිසාගේ ගිනිගත් චිත්ත සන්තානය සහන් සුවයෙන් සතපවාලන දිව ඔසුවකි.එකී අද්විදීතිය ගීත මාධ්‍යය තුළ ස්වකීය නිසර්ග කවීත්වය බහුශ‍්‍රැතභාවයෙන්, ජීවිත පරිඥානයෙන් හා සතතාභ්‍යාසයෙන් වජ‍්‍රයක් සේ තීක්ෂණව ඔප නංවාගත් රත්න ශ‍්‍රී විජේසිංහයන් උත්තම ගණයේ නිර්මාණකරුවෙකි. සමාජ අසාධාරණකම් සමාජ විෂමතාවන් හමුවේ තම පන්හිඳ අවිය කොට ගනිමින් සටන් වැද විරෝධය පෑ මානව හිතවාදි කලාකරුවා ඔහුය.

රත්න ශ‍්‍රී විජේසිංහ යන නාමය අද ගමින් ගම, දොරින් දොර සුපතළ වූවකි. කවිය හා ගීත ප‍්‍රබන්ධය විෂයෙහි ඔහු දක්වා ඇති සමත් බවට විවරණ අනවශ්‍යය.
                                                                                - දයාසේන ගුණසිංහ -

රත්න ශ‍්‍රී විජේසිංහයන් කුලවාදයට, ගෝත‍්‍රවාදයට , වර්ගවාදයට එරෙහිව මතු කරනා සටන්කාමි ස්වරය සාහිත්‍යමය විභූෂණයන්ගෙන් සුපෝෂිත සංයමශීලී ප‍්‍රකාශනයක් බවට පත්කර ගන්නට නිරන්තරයෙන් වගබලා ගනී.ඔහුගේ නිර්මලා ලොන්ඩරිය හිමිගීතය කුලභේදයට එරෙහි ප‍්‍රබල සාහිත්‍යමය කැරැල්ලකි.
රත්න ශ‍්‍රී තම ජීවිතයේ ලද අත්දැකීම් සහ අත්විඳීම්  බොහෝ ගීතවලට ආලෝකයක් කරගත්තේය. 1987 පළමු පළාත් සභා මැතිවරණයේ ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථාන සථානාධිපතිවරයෙකු ලෙස ගාල්ලේ ඇතුළත ගමකට යෑමට ඔහුට සිදුවිය. ඡුන්දය පාවිච්චි කරන්නන්ගේ නම් හඬ නගා කියැවූයේද රත්න ශ‍්‍රී ය.සම්පූර්ණ නම සමඟ වාසගම කියවන විට ඇතැමුන්ගේ මුහුණ ලැජ්ජාවෙන් රතුවන හැටි ඔහු දුටුවේය.එකී සිදුවීම ඔහුගේ සිත බොහෝ කම්පනයට පත් කළේ ය. ලෙන්චිනා ගීතය ලිවීමට මුල් වූයේ එම සිදුවීමයි.නිර්මලා ගීතයට විෂය වූයේ ද එවැනි සිදුවීමකි.

බලන්න එදත් මගේ කිළි කුණු දුන්නේ ඒකිට.දිනක් උදෑසන ගාලූකොටුවේ නිවසට  පැමිණි මාධ්‍ය සගයෙක් රත්න ශ‍්‍රීගේ දෙඅත් අල්ලා හඬා වැටුණේය.පාසල් සමයේ තමන් ආදරය කළ තරුණියක ගැන රත්න ශ‍්‍රීට කීය.ගාල්ල නගරයේ ලොන්ඩරියකට රෙදි සේදීමට දෙන්නට ගිය ඔහුට නැවත ඇය හමුවිය.ඔහු අදද රෙදි සේදීමට දෙන්නේ ඇය අතට වීම මේ පුද්ගලයා කම්පනය පත්කළ සිදුවීම විය. තවද රත්න ශ‍්‍රීගේ ඥාති සහෝදරයෙක් ගමේ රෙදි නැන්දාගේ රුවැති දියණියට පෙම් බැන්දේය. ගුරු සේවයේ නියුතු එම තරුණයාගේ දෙමව්පියෝ මෙයට දැඩි සේ විරුද්ධ වූහ. තම එකම පුතුගේ පිඟාන සහ කෝප්පය පවා වෙන් කර තැබීමට ඔවුහු යුහුසුළු වූහ.අවසානයේදී පේ‍්‍රමය පරදා කුලය ජය ගත්තේය. මේ සිදුවීම්ද රත්න ශ‍්‍රීට නිර්මලා ගීතය ලියන්නට කඳුළු උල්පත පෑදුවේය. මෙම ගීතය රත්න ශ‍්‍රී ලියූ කපුගේ ශූරින් ගයන ඉරබටු තරුවගී එකතුවේ ඇතුළත් වන්නකි.

                                ”නිර්මලා ලොන්ඩරිය හිමි - සළු වඩන මැණිකේ නිර්මලා
                                 මල් හිනා නුඹෙ තැවරිලා  -  කිරි ඉද්ද මල් වැට පීදිලා

යොවුන් පේ‍්‍රමය ඈඳා ගනිමින් කුල පීඩනයේ නිරර්ථක භාවය මූර්තිමත් කරන ගේය පදමාලා කරුවා නිර්මලා අමතන්නේ ලොන්ඩරිය හිමි සළුවඩන මැණිකේ යන නාමයෙනි.ඇය රෙදි හෝදන කුලයේ රජක ස්ත‍්‍රියක් බව ඉන් ධ්වනිත වේ. ධ්වනි ගුණයෙන් පිරි භාෂා ශෛලිය ඔස්සේ කුලය මත බෙදීගිය සමාජ ස්ථරායන පිළිබඳ ව්‍යංගයෙන් කියාපාන්නේ ලොන්ඩරිය හිමි - සළු වඩන මැණිකේයන පදයෙනි.ගීතය සම්බන්ධ සිය විචාරක අදහස් එක් කළ නව පරපුරේ ප‍්‍රවීණ ගීපද රචක රජී වෙල්ගමයන් නිර්මලා ගීතය සම්බන්ධව දැක්වූයේ මෙවන් අදහසකි.

මේ ගීතයෙන් රත්න ශ‍්‍රී කවියා ප‍්‍රබල අතුල් පහරක් වැඩවසම් පහත් කුල ක‍්‍රමයට එල්ල කරයි.ඔහු සිය ගීතයේ ආරම්භයේදීම කියන්නේ නිර්මලා ලොන්ඩරිය හිමි සළු වඩන මැණිකේ නිර්මලා යනුවෙනි.සළුවඩන මැණිකේඋඩරට වංශවත් යැයි සැළකෙන පරම්පරාවකි.ඔවුහු ලොන්ඩරි කර්මාන්තයේ නොයෙදෙති.ඔවුහු  රජක කුලය පහත් කොට සලකති. රත්න ශ‍්‍රී සියලූ මිනිසුන් එක සමාන යන උතුම් සිතුවිල්ලේ සිටිමින් නිර්මලා නම් රජක ස්ත‍්‍රියට සළුවඩන මැණිකේ කියා අමතයි.අපට විමලරත්න කුමාරගම කවියා අලියා වැටුණ වැව ගමේ ඉස්පිරිතාලයේ මිනීකපන හේරත්හාමිට පෑ සෙනෙහස සිහිවේ.සැඩොල් කුලයේ සෝපාකට බුදු හිමියන් කරුණා නෙත පෑ ආකාරය සිහි වේ.රත්න ශ‍්‍රී කවියා ආර්ද්‍ර වූ සිතින් බුදුදහමින් උගත් භාවික ඥානයෙන් මෙම ගීතය ලියා ඇත.

නඡච්චා වසලෝ හෝති - නඡුච්චා හෝති බ‍්‍රාහ්මණෝ
 කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ‍්‍රාහ්මණෝ

සූත‍්‍ර පිටකයේ ඛුද්දක නිකායේ සුත්ත නිපාතයේ උරග වග්ගයේ තුන්වන සූත‍්‍රයේ එන මෙම ගාථාවට අනුව යමෙක් උපතින්ම වසලයෙකු හෝ බ‍්‍රා්හ්මණයකු වන්නේ නැත.යමෙක් වසලයෙකු හෝ බ‍්‍රාහ්මණයකු වන්නේ ඔහුගේ හෝ ඇයගේ ක‍්‍රියාවලින් පමණි.එසේ නම් නිර්මලා රෙදි සෝදන්නියක ලෙස සමාජය ඉදිරියේ හංවඩු ගසන්නේ කුමන පදනමින්ද? කුතය නැමති සාධකය පන්න පන්නා හතර වටින් පහර දෙද්දී සමාජය ඉදිරියේ පේ‍්‍රමය ඉදිරියේ නිර්මලාලා අසරණය. රත්න ශ‍්‍රී සිය ගීතමය හඬ අවදි කරන්නේ  සමාජයේ මෙවන් නිර්මලාලා මුහුණ දෙන කටුක යථාර්ථය විදාරණය කිරීමටය.


මල් හිනා නුඹෙ තැවරිලා - කිරි ඉද්ද මල් වැට පීදිලා


රෙදි සෝදන කුලයේ වුවත් නිර්මලා සුන්දර තරුණියකි. තාරුණ්‍යයත් ආදරයත් අතර ඇත්තේ ගසට පොත්ත මෙන් නොබිඳෙන සබැඳියාවකි.එය නිර්මලා විෂයෙහි ද පොදු වූවකි.ඇගේ සිතේ ආදරය පිළිබඳ හැඟීම් පීදිලා ඇත.කිරි ඉද්ද මල් වැටක් බඳු පරම පිවිතුරු නැවුම් පේ‍්‍රමයෙන් ඇලලී ගිය නියාවෙන් ඇගෙ මුව පුරා මල් හිනා තැවරී ගොස් ය.

පේ‍්‍රමය විවාහය නැමැති හිණිපෙත්ත කරා රැගෙන යාම පේ‍්‍රමවන්තයින්ගේ මූලික ආධ්‍යාශයයි.එකී ගමන්මග අහුරාලමින් විවාහයට වැට බැඳෙන්නේ ඇය රෙදි සෝදන කුලයේ තරුණියක වන බැවිනි.කුලගෙවල් සැරසිලි කොට සළුවඩා පාවඩ එළා කුල සිරිතට මංගල ගමනේ දෑඟිලි පටලවා යන්නට මග බලන නිර්මලාට සිදුවන්නේ තම පෙම්වතාගේ ලොවින් පිටමං වන්නටය.

නිර්මලා නිර්මල නැතැයි මා - ඔබෙ ලොවින් පිටමං කළා

කුලය හමුවේ පේ‍්‍රමයෙන් පරාද වූ නිර්මලාගේ විලාපය පුපුරා යන්නේ මෙතැනදීය.නිර්මලා නිර්මල නැත්තේ ඇයි? රචකයා සමාජය හමුවේ තබන පැනය මෙයයි. එක පාටැති එක රුධිරය වේ නම් අප කය තුළ දුවනා, නිර්මලා නිර්මල නැතැයි කියනුයේ කවර සාධක මත පිහිටාද ඔහු සමාජයෙන් ප‍්‍රශ්න කරයි.
                               
                                 ” අඩු කුලේ කියලා අසරණයා - මැඩලන්නෙ මෙ ලෝකේ වසලයා
                                  වංශේ කුල භේදෙනි ලොවේ - නොම වේ බමුණා හෝ වසලයා

                                 එක ලේ මස් නහරින්  බැඳුණු තදේ - මුළු ජීවිත කාලය විඳින වදේ
                                 අවසානයේ මරු සමඟ ඇදේ - මෙය නොදැන සිටින්නේ වසලයා

සැබැවින්ම යථාර්ථය මෙය නොවේ ද? රෙදි සෝදන කුලයේ උපන්නාට සාපලත් නිර්මලා පංතියේ මිතුරන් ඉදිරියේ ද සරදමට ලක්වන්නේ ඇගේ හිතට රිදුම් තැවුම් වේදනා එක් කරමිනි. පසුකලෙක දින පොත පෙරළන ඇයට ඇගේ උරුමය එතුළින් හමුවෙයි. ඒ අනෙකක් නොව කඳුළු බිඳු පමණි.සිහින කෙත ඈ නෙළූ අස්වැන්න කඳුළ පමණි.එය කියනු වස් කවියා භාවිත සරල කාව්‍යාත්මක බස් වහර ළගන්නා සුළුය.අල්පෝක්තිය මෙන්ම අතිශයෝක්තිය නිර්මාණකාරකයාගේ හැඟීම් ජනනයට උපස්ථම්භක වන ආකාරයට මෙය කදිම නිදසුනකි.

රත්න ශ‍්‍රී තරම් කුල පීඩනය පිළිබඳ කතාකළ සිංහල කවියෙක් නැති තරම්ය.ඔස්ටින් මුණසිංහයන්ගේ සුසත්සරයෙන් හා ඉන්දීවරි අබේවර්ධන ගායිකාවගේ සුගායනයෙන් රසිකයා හමුවට එන ,
                              
                                ”තන තම්දෙනා තන තානෙනා - සළු සෝදනා මම ලෙංචිනා
                                 ඔච්චම් කරන්නට නම් එපා මට -  සළුවඩන මැණිකේ කියා

යන මෙම ගීතය තුළින් ද කුලය නිසා ඉකිගසන රජක කුලයේ තරුණියකගේ රිදුම් දෙන හදවතේ අසරණ ආයාචනය විදාරණය කරයි.රෙදි සෝදන පංතිය කෙරෙහි දයාවෙන් කවියා බිිහිකළ පළමු කාව්‍ය සංග‍්‍රහය වන ශුද්ධාත්ම” 1988 දී රවනාවූ සුබ උදෑසනක්කෘතිය තළින් පාඨක නෙත ට සමීප වේ.රෙදි සෝදන කුලයේ කටුක යථාර්ථය මානව දයාවෙන් සංස්පර්ශය කළ එම කාව්‍ය පසු කලෙක ගීතයක් ලෙසින් රෝහණ වීරසිංහයන්ගේ තනු හා සුසත්සරය මුසුව සුනිල් එදිරිසිහයන්ගේ හඬින් ගුවනට මුසු වේ.
                               
    
        ”ලෙංචිනා මගෙ නංගියේ ඇයි - ගංතෙරට වී ගොම්මනේ
         පෙන්තරේ ළඟ පැන් තොටේ - ගම්මානයේ පව් සෝදනා


රචකයා උතුරා යන මානව දයාවෙන් රෙදි සෝදන පංතියේ ලෙන්චිනාට මගෙ නංගියේ ලෙස අමතයි.  ඔහු ලෙන්චිනාට නැගණියක ලෙස අමතන්නේ කුල භේදයට එරෙහිව පංති සමානාත්මතාවය ගොඩ නැගීමේ ව්‍යායාමයක් ලෙසිනි.

නිර්මලා පහත් කුලයක වීම නිසා ම ඇයගේ පේ‍්‍රමයට නෑසියෝ ඉඳුරා විරුද්ධ වෙති.ඔවුන්ගේ ආදර ලෝකය ගිනි ගෙන දැවෙන්නේ එදිනය.බොහෝ දෙනාගේ රෙදි සෝදන නිර්මලාගේ සළුපිළි කිසිදා වේළෙන්නේ නැත.පේ‍්‍රමයේ වියෝව හමුවේ හඬා වැටෙන නිර්මලාගේ ඉකිගැස්ම දැනුදු අප සවන් වැකේ.  ” මා හෙලූ කඳුළින් තෙමූ සළු පිළි - තවම නෑ වේළිලා..

කඳුළ ඇගේ සදාතනික උරුමය බව ධ්වනි ගුණයෙන් ආඪ්‍ය භාෂාවක් ඔස්සේ ගී පද රචකයා පෙන්වාලයි.
                               
                                  ” දොවාලන්නට බැරි පිළී ගඳ -  කහට  කුලමල තවරලා
                                 මගෙ ඇඳුම් ඔබෙ අතට දෙන එක - දරන්නට බෑ නිර්මලා


කුල පීඩනය පිලිකුලෙන් බැහැර කරන කවියා මානව දයාවෙන් උපන් පේ‍්‍රමයෙන් යුතුව නිර්මලා සහ ඇගේ පේ‍්‍රමවන්තයාගේ හදවත් වෙත සහෘදයා රැගෙන යයි. දැනුදු තම ඇඳුම් සේදීමට තම පේ‍්‍රමවන්තියට දෙන්නට වීම පිළිබඳ ඔහු පශ්චාත්තාපයට පත්වේ.ඒ සැබෑ ආලය නිසාවෙනි.නමුත් දොවාලන්නට බැරි පිළි ගඳ ගහන කුලමල කහට කෙදිනක නම් මකා දමන්නද?එදා හිත පුරා පැවති නොකිලිටි ආදරය අද ඇයට අහිමිය.නමුදු ඇයට හිමි නැති ඒ හුරු සුවඳ සෝදන්නට දී ඇති තම පේ‍්‍රමවන්තයාගේ ඇඳුම් අතරින් දැනුදු ඇයට හමුවේ.සුවඳ ආදරයේ සළකුණකි. යනවා නම් ඔබෙ සිරුරෙ සුවඳ ඔය ඇඳුම්වල සුවඳ තියලා යන්න...යනුවෙන් මළගිය ඇත්තෝහි නොරිකො තම ආදරණීය දෙවෙන්දොරා සංගෙන් ඉල්ලා සිටියේ ඒ නිසා නොවේ ද? ගීතය අවසන් වන්නේ ඒ සුවඳ අතර රසිකයාද රඳවමිනි.


බි‍්‍රතාන්‍ය පාලකයන් අප සමාජය මත පරත්වාරෝපණය කළ කුලවාදය තවමත් අපට අත්හැරගත නොහැකි වූ ඛේදවාචකයක එක් ඉරණමකි. නිර්මලා යනු රෙදි අපුල්ලන්නියකි. ඇයට කුලවත් ජනයාට පෙම් බැඳීමට ජන සමාජයේ තහංචියක් පවතී.එවැනි ඉරණමකට මුහුණ දුන් පෙම්වතුන් යුවළක් නඟන ආත්ම වේදනාවක මැසිවිල්ලක්  නිර්මලා ගීතයෙන් කියවේ. මේ හරහා ජරා ජටිල කුලවාදයන් තව දුරටත් අප කරපින්නා ගතයුතු දැයි යන උදාර සමාජ ශෝධන මතවාදය රෝපණය වීමට පටන් ගනී.එමගින් නිස්සාරවත් කුල ගැටුම් පිළිකුලෙන් යුතුව බැහැර කිරීමටත්, මානව පේ‍්‍රමයේ තිබෙන සොඳුරු පළ රිසි සේ අත්විඳීමටත් හැකි ජීවන දහමක් ගොඩ නැගේ. එහෙයින් නිර්මලා බඳු ගීත සේවය කරනුයේ සමාජීය යහපත් ආකල්ප මතු මතුවටත්  ප‍්‍රචලිත කිරීමේ අරමුණ ඇතිවය.


 නිර්මලා නම් වූ නිර්මල පෙම්වතියගේ ශෝකාලාපය ගැයුමට නිරංජලා සරෝජිනි ගායිකාවත්  පෙම්වතා නියෝජනය කරනු වස් ගීතයට සුසත්සරයෙන් හා සුගායනයෙන් ගුණදාස කපුගේ මහතා එක්වීමත් ගීතයේ රසයට ආලෝකයකි.ධ්වනි ගුණයෙන් ආඪ්‍ය කාව්‍යාත්මක භාෂා භාවිතයක තම අත්දැකීම බහාලන රත්න ශ‍්‍රී විජේසිංහයන් ගීතය රස විඳින රසිකයා වඩ වඩාත් ගීතය වෙත ආශක්ත කරවාලයි. රත්න ශ‍්‍රී විජේසිංහයන්ගේ නිර්මාණවල මානව දයාව උතුරා යයි. ඔහු කාලීන සමාජ ප‍්‍රශ්න පිළිබඳව පීඩිතයන් කෙරෙහි වන දයාර්ද්‍ර වූ හදවතින් යුතුව සිය නිර්මාණ තුළින් හඬ අවදි කළේ ය.බමුණා වුණත් දුදනකු නම් බිම හොවනු - සැඩොලා වුණත් සුදනකු නම් පුටුව දෙනුමහාචාර්ය සුනිල් ආරියරත්නයන් උක්ත ගීපද හරහා පෙන්වා දෙන මේ යථාර්ථය සමාජය තුළ ක‍්‍රියාත්මක කළ හැකි නම් සමාජය නැමැති ශරීරයේ හටගත් කුල පීඩනය වැනි පිළිලයන් මුලිනුපුටා දමා සමාජය සුවපත් කළ හැකි ය.

නිර්මලා ලොන්ඩරිය හිමිගීතය


නිර්මලා ලොන්ඩරිය හිමි
සළු වඩන මැණිකේ නිර්මලා
මල් හිනා නුඹෙ තැවරිලා
කිරි ඉද්ද මල්වැට පීදිලා

කුල ගෙවල් සැරසිලි කළත් අපි
සළු වඩා පාවඩ එළා
නිර්මලා නිර්මල නැතැයි මා
ඔබෙ ලොවින් පිට මං කළා


පන්තියේ මිතුරන් එදා කළ
විහිළුවෙන් හිත රිදුණු දා
මා හෙලූ කඳුලක් මගේ
දින පොතක තිබිලා හමුවුණා


යුද වැදී නෑ සියන් බළ මුළු
අපේ ලොව ගිනි වැදුණුදා
මා හෙලූ කඳුළින් තෙමූ සළු පිළි
තවම නෑ වේළිලා


එදා සෙසෙහස නොකිලිටිව  ඔබෙ
හිත පුරා පවතින නිසා
හිමි  නැතත් මට හුරු සුවඳ ඒ      
ඇඳුම් අතරේ තියෙනවා ”       


පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
ගායනය - ගුණදාස කපුගේ සහ නිරංජලා සරෝජිනී

5 comments:

ගබ්සාව

 ගබ්සාව  සමාජ ගැටලුවක්ද?   ලෝකයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමු වු ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හදුන්වා දිය හැකියි. බොහෝ රට...